නීතිය පිළිබඳ දැනුමෙන් බලගැන්වෙන ස්ත්‍රීන්: Sisterhood නීති ආධාර වැඩසටහන්
Sisterhood ග්‍රාමීය ස්ත්රීන්ගේ නීතිමය දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ඔවුන් බලගැන්වීම අරමුණු කරගත් නීති ආධාර සායන පවත්වයි. මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ නීතිය පිළිබඳ තොරතුරු ලබාදීමට පමණක් නොව, ස්ත්‍රීන් මුහුණදෙන සැබෑ ගැටලු හඳුනාගෙන ඒවාට අදාළ නීතිමය සහාය ලබාගැනීමට මඟපෙන්වීම කෙරෙහිය.
නීතිය පිළිබඳ දැනුම යනු අයිතිවාසිකම් දිනාගැනීමේ මෙවලමකි. එහෙත් එම දැනුමෙන් තොරව ජීවත් වන බොහෝ ස්ත්රීන්ට තමන්ට සිදුවන අසාධාරණයකදී පවා නීතියේ පිහිට පැතීම අභියෝගයකි. Sisterhood නීති ආධාර වැඩසටහන්වල අරමුණ වන්නේ එම තත්ත්වය වෙනස් කරමින් ස්ත්රීන්ට තම අයිතිවාසිකම් හඳුනාගැනීමටත්, ඒවා වෙනුවෙන් පෙනී සිටීමටත් අවශ්‍ය සහාය ලබාදීමයි.
අයිතිවාසිකම් දැනගැනීමෙන් ආරම්භ වන බලගැන්වීම
ස්ත්‍රීන් සතු මානව හිමිකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති වීම අපගේ වසර ගණනාවක අත්දැකීම් තුළ හඳුනාගත් ප්‍රධාන ගැටලුවකි. විශේෂයෙන්ම ස්ත්‍රියක වීම හේතුවෙන් මුහුණදීමට සිදුවන වෙනස්කම් කිරීම්, හිංසනයන් සහ අසාධාරණයන් හමුවේ ඇයට හිමි නීතිමය රැකවරණය හා සහන ලබාගත හැකි මාර්ග පිළිබඳ දැනුවත්භාවය සීමිතය.
තමන්ට හිංසනයක් හෝ අතවරයක් සිදුවූ අවස්ථාවකදී පොලිසියට පැමිණිලි කිරීමට, නීති උපදෙස් ලබාගැනීමට හෝ අධිකරණයේ පිහිට පැතීමට බොහෝ ස්ත්‍රීහු මැලි වෙති. සමාජ අපකීර්තිය පිළිබඳ බිය, ආර්ථික යැපීම, පවුලේ බලපෑම්, දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව සහ නීතිමය ක්‍රියාවලිය පිළිබඳ නොදැනුවත්භාවය එයට හේතු විය හැකිය.
මෙම තත්ත්වය තුළ ස්ත්රීන්ට තම අයිතිවාසිකම් පිළිබඳ දැනුම ලබාදීමත්, අවශ්‍ය අවස්ථාවලදී නීතිමය සහාය වෙත ප්‍රවේශ වීමට මඟපෙන්වීමත් අත්‍යවශ්‍ය වේ.
ග්‍රාමීය ස්ත්‍රීන් වෙනුවෙන් නීති ආධාර සායන
මෙම අවශ්‍යතාව හඳුනාගනිමින් Sisterhood ග්‍රාමීය ස්ත්රීන්ගේ නීතිමය දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ඔවුන් බලගැන්වීම අරමුණු කරගත් නීති ආධාර සායන පවත්වයි. මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ නීතිය පිළිබඳ තොරතුරු ලබාදීමට පමණක් නොව, ස්ත්‍රීන් මුහුණදෙන සැබෑ ගැටලු හඳුනාගෙන ඒවාට අදාළ නීතිමය සහාය ලබාගැනීමට මඟපෙන්වීම කෙරෙහිය.
මෙම වැඩසටහන් ඔස්සේ හඳුනාගත් වැදගත් ගැටලුවක් වූයේ තම සැමියන් විසින් අතහැර දමනු ලැබූ ස්ත්‍රීන් දෙදෙනකුට තම දියණියන් වෙනුවෙන් නඩත්තු මුදල් ලබාගැනීමට මුහුණදීමට සිදුව තිබූ දුෂ්කරතාවයි.
එක් දියණියක් ඔටිසම් තත්ත්වයෙන් පසුවන අතර අනෙක් දියණිය ළමා මානසික අවපීඩන තත්ත්වයකින් පසුවෙයි. මෙවැනි තත්ත්වයන් තුළ දරුවන්ගේ රැකවරණය, ප්‍රතිකාර සහ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමාණවත් ආර්ථික සහායක් ලබාගැනීම මවකට අතිශය වැදගත් වේ. එහෙත් පවුලේ වගකීම් බොහොමයක් තනිව දරන ස්ත්‍රියකට එම අයිතිය දිනාගැනීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පහසු නොවේ.
නීතිමය මැදිහත්වීමෙන් ලැබුණු ප්‍රතිඵල
අදාළ ස්ත්‍රීන් දෙදෙනාටම තම දියණියන් වෙනුවෙන් නඩත්තු ලබාගැනීම සඳහා අවශ්‍ය නීති උපදෙස් සහ මඟපෙන්වීම ලබාදීමට Sisterhood මැදිහත් විය.
ඉන් එක් දියණියක් වෙනුවෙන් ගාල්ල දිසා අධිකරණයේ නඩුවක් පැවරීමෙන් අනතුරුව, මේ වන විට පියාගේ පාර්ශ්වයෙන් මාසිකව රුපියල් 25,000ක නඩත්තු මුදලක් ලබාගැනීමට හැකි වී තිබේ.
අනෙක් දියණිය වෙනුවෙන් හික්කඩුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අදාළව සිදුකළ පරීක්ෂණයකදී ඇති කරගත් එකඟතාවක් මත මාසිකව රුපියල් 30,000ක නඩත්තු මුදලක් පියාගේ පාර්ශ්වයෙන් ලැබෙමින් පවතී. එම නඩත්තු මුදල් සම්බන්ධයෙන් ද ගාල්ල දිසා අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටිමු.
මෙම මැදිහත්වීම් මඟින් අවධාරණය වන්නේ නීතිය පිළිබඳ දැනුම සහ නිසි මඟපෙන්වීම ස්ත්රීන්ට තමන්ටත්, තම දරුවන්ටත් හිමි අයිතිවාසිකම් දිනාගැනීමට උපකාරී වන බවයි.
අයිතිවාසිකම් දන්නා ස්ත්‍රියක්, ශක්තිමත් සමාජයක්
Sisterhood විශ්වාස කරන්නේ ස්ත්‍රීන් බලගැන්වීම යනු ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් තාවකාලික විසඳුම් සෙවීම පමණක් නොවන බවයි. තමන්ට හිමි අයිතිවාසිකම් හඳුනාගැනීමටත්, අසාධාරණය හමුවේ නිහඬ නොවී සිටීමටත්, අවශ්‍ය විට නීතියේ සහාය ලබාගැනීමටත් ස්ත්රීන්ට හැකියාව සහ විශ්වාසය ගොඩනැඟීම ද එහි කොටසකි.
ස්ත්‍රියකට තම අයිතිවාසිකම් පිළිබඳ දැනුම තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම අයිතිවාසිකම් ප්‍රායෝගිකව භාවිත කිරීමට අවශ්‍ය සහාය, මඟපෙන්වීම සහ සමාජීය අවකාශය ද ඇයට හිමි විය යුතුය.
එබැවින් නීති ආධාර සායන හරහා ග්‍රාමීය ස්ත්‍රීන් දැනුවත් කිරීමත්, ඔවුන්ගේ සැබෑ ගැටලු හඳුනාගෙන නීතිමය සහාය වෙත ප්‍රවේශ වීමට මඟ සැලසීමත් Sisterhood හි අඛණ්ඩ කාර්යභාරයකි.
තම අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් ස්ත්‍රියකට අසාධාරණය හමුවේ නිහඬව සිටීමට සිදු නොවිය යුතුය. නීතිය පිළිබඳ දැනුම, සාමූහික සහාය සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ ශක්තිය සෑම ස්ත්‍රියකටම හිමි විය යුතුය.