ගෘහණියන්ගේ ශ්රමයට වටිනාකමක්: නොපෙනෙන කම්කරුවන්ගේ මැයි දිනය ගෘහස්ථ ශ්‍රමය ද ශ්රමයකි!
A homemaker is not a woman who does nothing. She is an unpaid worker. Recognising her labour, respecting her contribution, and ensuring a fair distribution of domestic responsibilities are essential steps towards building a just society.
Sisterhood සමඟ කටයුතු කරන ස්ත්‍රීන්ගෙන් බහුතරයක් ගෘහණියන් ය. ඔවුහු දිනපතා ආහාර පිසීම, නිවාස පිරිසිදු කිරීම, දරුවන් රැකබලා ගැනීම, වැඩිහිටියන්ට උපස්ථාන කිරීම සහ පවුලේ සෙසු සාමාජිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම ඇතුළු විශාල වැඩ කොටසක් ඉටු කරති. එහෙත් මේ සියලු කාර්යයන් සඳහා ඔවුන්ට කිසිදු වැටුපක් හිමි නොවේ. ආර්ථික විද්‍යාත්මකව මෙය නොගෙවන රැකවරණ හා ගෘහස්ථ ශ්‍රමය (Unpaid Care Work) ලෙස හැඳින්වේ.
වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ මෙම ශ්‍රමය සමාජය විසින් නිසි ලෙස හඳුනා නොගැනීමයි. ස්වාමිපුරුෂයා, දරුවන්, නැන්දම්මා සහ මාමා ඇතුළු පවුලේ සාමාජිකයන් පවා බොහෝවිට ගෘහණියක් යනු 'ගෙදර නිකම් සිටින' අයෙකු ලෙස සලකති. ඇය දවස පුරා කරන වැඩවලට ආර්ථික වටිනාකමක් නොමැති බවත්, ඇයගේ ශ්‍රමය පවුලේ ආදායමට දායක නොවන බවත් ඔවුහු සිතති.
මෙම ආකල්පය හුදෙක් පවුල තුළ පවතින ගැටලුවක් නොවේ. එය ස්ත්රීන්ගේ ශ්‍රමය නොසලකා හරින පුළුල් සමාජ හා ආර්ථික ක්රමයක ප්රතිඵලයකි. ජාතික ආර්ථිකය මැනීමේදී දළ දේශීය නිෂ්පාදිතය (GDP) වැනි දර්ශකවලට ගෘහස්ථ ශ්‍රමයේ බොහෝ කොටස් ඇතුළත් නොවීම නිසා, ආර්ථිකය පවත්වාගෙන යාමට ස්ත්‍රීන් දරන දායකත්වය නිල සංඛ්‍යාලේඛන තුළ ප්‍රමාණවත් ලෙස නිරූපණය නොවේ.
එහෙත් වැටුප් නොලබන නිසා ශ්‍රමයක් නොවන බවට පත්වන්නේ නැත. ස්ත්රීන්ගේ ගෘහස්ථ ශ්‍රමය නොමැතිව පවුල්වල දෛනික ජීවිතය පවත්වාගෙන යාමටත්, වැටුප් ලබන ශ්‍රමිකයන්ට තම රැකියාවල නිරත වීමටත් නොහැකි වනු ඇත. එබැවින් මෙම ශ්‍රමය පවුලට පමණක් නොව සමස්ත ආර්ථිකයටම අත්‍යවශ්‍ය වේ.
මෙම යථාර්ථය සමාජය ඉදිරියේ ප්රබලව මතු කිරීමේ අරමුණින්, 2023 මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනයේදී Sisterhood විසින් ගාල්ල නගරයේ ගෘහණියන්ගේ මැයි රැළියක් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගෘහණියන්ගේ ශ්‍රමය කේන්ද්‍ර කරගත් මැයි දින රැළියක් ලෙස අප හඳුන්වා දුන් මෙම වැඩසටහනේදී වීදි නාට්‍ය ඇතුළු නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඔස්සේ ගෘහණියන්ගේ නොපෙනෙන ශ්‍රමය පිළිබඳ පොදු සංවාදයක් ගොඩනැඟීමට අපි උත්සාහ කළෙමු.
අපගේ අරමුණ වූයේ ගෘහණියන්ට අනුකම්පාව ලබාගැනීම නොවේ. ඔවුන්ගේ ශ්‍රමය හඳුනාගැනීමත්, එයට සමාජීය හා ආර්ථික වටිනාකමක් ලබාදීමත්, පවුල තුළ සහ සමාජය තුළ ඔවුන්ට හිමි ගෞරවය තහවුරු කිරීමත් ය.
Sisterhood විශ්වාස කරන්නේ ස්ත්‍රී විමුක්තිය යනු රැකියා ස්ථානයේ සමානාත්මතාවට පමණක් සීමා නොවන බවයි. නිවස තුළ සිදුවන ශ්‍රම බෙදීම, රැකවරණ වගකීම් සහ ඒවායේ අසමාන බෙදාහැරීම ද ස්ත්‍රී පීඩනයේ වැදගත් කොටස් වේ.
ගෘහණියක් යනු නිකම් සිටින ස්ත්‍රියක් නොවේ. ඇය වැටුප් නොලබන ශ්‍රමිකාවකි. ඇයගේ ශ්‍රමය හඳුනාගැනීම, ඇයට ගෞරවය ලබාදීම සහ ගෘහස්ථ වගකීම් සාධාරණව බෙදාගැනීම සාධාරණ සමාජයක් ගොඩනැඟීමේ අත්‍යවශ්‍ය පියවරකි.
ගෘහණියන්ගේ ශ්‍රමය නොපෙනෙන තාක් කල්, ඔවුන්ගේ දායකත්වය පිළිබඳ සමාජයේ නිහඬතාව බිඳ දැමීම Sisterhood හි ස්ත්‍රීවාදී අරගලයේ අඛණ්ඩ කොටසක් වනු ඇත.